Wednesday, January 25, 2023

රෑ වෙනවට මං බයයි

 උදේ ඉඳලා අම්මගේ උණුහුමේ ඉඳන් තනේ එල්ලිලා කිරි බීපු මට,

කලුවර වෙලා, කිරිත් නෑ අම්මගෙ මූණ පේන්නෙත් නෑ, කෑ ගහල ඇඬුව මම

ඉතින් රෑ වෙනවට මං බයයි.


අද නම් කෑවෙත් නෑ බත් හරියට, අම්මා ඇඬුවා මම කෙට්ටුයි ලු 

හබුං කටයි බත් දෙකටයි, නොකෑවොත් බිල්ලන් එයි කියා අම්ම කිව්වා

ඉතින් රෑ වෙනවට මං බයයි 


අප්පච්චි මළේ හේනේ ඉඳල එනකොට අලිය ගහලා 

මම පොඩි හින්ද ගෙනාවලු අලුත් අප්පච්චි යෙක් , බාප්පා....

අම්මා නැති වෙලාවට මට කරනවා කරදර, කිව්වොත් අම්මට මරනවලු මාව 

ඉතිං රෑ වෙනවට මං බයයි


පාන්දරින් නැගිටලා උයල පිහල ළමයි ලැයිමෙ සුරැකුමට දාලා 

කූඩෙත් අරන් යන්නේ වත්තේ දලු කඩන්න, සින්න දොරේගෙ වදේ ගේ පැත්තේ ඇවිත් යන්න කියල 

දලු කඩල ළමයි අරන් ගෙදර ඇවිත් රෑට උයන කොට, රස්තියාදුකාර මිනිහා එනවා වැනි වැනි 

"අදත් මේවද කන්න තියෙන්නේ " තලනවා මට වෙරි මර ගාතෙන් 

ඉතිං රෑ වෙනවට මං බයයි 


මහත්තයා උදේට ටයි කෝට් ඇඳගෙන තට්ටු තුනේ ගෙදරින් එළියට යන්නේ මොන්ටෙරෝ එකෙන්

 බ්‍රිටිෂ් කොලේජ් එකෙන් ළමයි ගන්න යවන්නේ අවූඩිය රියැදුරු එක්ක 

රතු පාටට තිබුනා තොල් සායම් හාදුවක් කමිස කොලරයේ, විස්වාසයි මට ඒ මගේ නම් නොවේ

තිබුනා  කවරයක් කලිසම් සාක්කුවේ , කොන්ඩම්, මා වෙනුවෙන් නොවේ 

ගෙදර ආ විට ඔහු සයනයේ හැසිරුනේ මෘගයෙකු වගේ 

ඉතිං රෑ වෙනවට මං බයයි


ජීවිතෙන් දශක හයක් ගෑවුණා, රැකියාවෙන් ඉහළම තැනට ගියා 

සල්ලිත් යහමින් ලැබුවා, ඉඳහිට මිනිහ එක්ක  අඩියකුත් ගැසුවා 

ළමයි ඔක්කොම දීග දුන්නා, උන් ඔක්කොම රට ගියා

මේ සතියට දෙපාරක්ම පපුව රිදුම් කෑවා, වැල් තුනක් බ්ලොක් ලු දොස්තර කිව්වා

ඉතිං රෑ වෙනවට මං බයයි...........










 











Monday, August 20, 2018

හිටිවන කවි

අයියෝ අපේ හිතහොඳ     පොඩී
බොන්නෙපා  තනියම       බකාඩී
වමනෙත් වෙයි  වී වෙරි        වැඩී
කසාය ලැබෙයි බලු වේවැල් තඩී

ඇතිවන පදම ගත් අපේ නි සින්දු
පදමට ගලපලා ගයනව ගී සින්දු
තනිවම ගයා මඩුවේ නම රැන්දූ
දිගු කල් දිනේවා මහිතවත් බන්දු

ගෝඨ ඉම්බර වන් අපෙ නාඹර කස්සා
තනි කරට ගති බීමත් පොඩී උස්සා
පෙරට තිබූ පය ගන්නේ නැති. පස්සා
දින දින වනවා මල්ලවපොර දස්සා

ගල් මංජා ඔතනවා මාලේ සූකා
වටටම බෙදනවා නිසිලෙස ඒකා
පදමට ආවිට ඒබව නොම සලකා
තාමත් මල් ඔතනවා බිබී නොකා

මඩුවේ පාලක බණ්ඩාර චින්තන ය
ඔහුව පාලනය කරන්නේ පූසෙක් ය
ඔහු ඇති සැමතැන ඇත්තේ ප්‍රගීත ය
කවදත් ඔහු මා ළය බැඳි සොයුරා. ය

කවි පබැඳුම් මා හට නැත වෙහෙස
ඇති පන්තිය නැති වන විට හවස
උගැනුමට අපමණ ගන්නා වෙහෙස
අපතේ ගියා සේ දැනේ පිණි දුටු අහස


නීති පොත් ගිල ඉන්නා.    මිශාල යා
සිතා ඉන්නෙ ඌ සැමටම විශාල  යා
වියත් දෙකක් නෑ ඉඟ හරි පළල්  යා
ළඟ හිටියොත් ඕකා මහ කුපාඩි  යා

සටනට බැස කර කර දේ අමු තු
සුන් කර දෑ උන් උන් සියලු   සතු
මුඩු  හිස දනවයි බිය අන්.   සතු
නැති ඔහු බබ්සි නම් අපේ   පුතු

කොල්ලෙක්  වගේ ඉන්නා මේ දෙවන් මිණී
කැලයට වැදුනෙ පිරිවර සමග සපැ.   මිනී
අතරමගදි ඉවසනු බෑ සුළු දිය බර පමණී
හනිකට දිවගොස් රූස්ස ගසට  මුවා වුනී

අනේ සිහිනෙන් වුවත් නිල් පටි දරන්    නා
ඕනේ තැනකදී ස්කාෆෝල්ඩ් පෙනෙන්  නා
පැරදුන විට වැළහින්නකු මෙන් අඬන් නා
කවුරුත් ඔහුට සාන්ත ඇන්ඩෲ කියන් නා

අහන්නේ වයන්නේ සිංදු නිතර ම යකඩ ඔළු
වලියක් ගියොත් පැටලෙන්නේ කෙහෙ වලු
කන්නේ නිතර ම පාං එක්ක හොදි මාළු ඔළු
අරුමයක් නොව මේ හැම දන්නා දසිත මලු




Sunday, June 11, 2017

පෙම් කවි

2012 මාර්තු මස 03 දින එවකට මාගේ පෙම්වතියව සිට දැන් මාගේ බිරිඳ වෙත ලියූ කවි පෙළක්

ගන්නට ඔබෙ දෑත මගේ දෝත      පුරා
ආවේ කලක සිට මා පෙරුම්          පුරා
කරගන්නට මා ඔබගේ දිවි            තුරා
ඉනු මැන පතිනියනි තව එක් වසක් පුරා

පානම ගමේ ඉන්නා විට තනි        පංගලමේ
ඔබෙ රුවමයි මා දුටුවේ ගම සෑම   කොනේ
ඉවසුම් නොදේ පාලුව මේ          රත්තරනේ
දුවලා එන්නම් බලන්නට ඔබ මාගේ   පණේ

පොඩි දරුවන් දකිනා විට ඔබෙ    හසරැල්ල
පිනවයි මා වේවිය එය මගේ මන   ලොල්ල
දෙන්නට සැමදා ඔබ වෙත ඔය    හසරැල්ල
හදමුද ඉක්මනින් අපෙ හුරතල්     කැදැල්ල

බියකරු කොටින් වළසුන් ලැගි   කැලෑවේ
අලියා මග බසී ගොම්මන් වූ        වෙලාවේ
සසුනට වූ රහතුන් වැඩි                 තලාවේ
සිටියෙමි මා කුඩුම්බි ගල්              තලාවේ

ඔබ හා ගියේ මා පෙරදා           පින්නවල
මතකද හිටියා ඉත්තෑවා ඔබ           අසල
දුටුවා පැටවා සමග සිටි අලි            යුවල
මනලොල් වූවා දැක ඔබේ මදහස   අමිල

මතකද එදා අප දෙදෙනා ගිය      දොළුව
පැච් එක ගොසින් ඔබ වූවා         ගොළුව
එය සැකසූ හෙයින් වෙරදා එය මා තනිව
වූවා නේද සැමදා මා ඔබ              විරුව

දළදා ගොසින් ඉල්ලූයේ   අපි  දෙදෙනා
එක් වන්නට ඉක්මනින්    අපි  දෙදෙනා
දළඳා සමිඳු පිහිටෙන්        අපි දෙදෙනා
සතුටින් කාලය ගෙවෙයි   අපි දෙදෙනා

ඇතත් මිණි කැට මුතු කැට සයුරේ කෙතරම්
ඔබයි මගේ දියමන්තිය   ඔබ      දන්නවනම්
සසර පුරා සැම තැන ඔබ සෙවූ            තරම්
පපුව පලා පෙන්නමි මා ආලය කරන   තරම්

Sunday, May 21, 2017

ලබ් ඩබ් ලබ් ඩබ්

ලබ් ඩබ් ලබ් ඩබ්
සයනත වැතිරුණු ඇයගේ
ළ‘මතින් මා සවනත වැකුණු ඒ හඬ
ආදරයේ උච්ඡතමයෙන්
මා රුහිරෙන් උපන්
ඒ කුමරුගේ ළයෙන් ම නැගෙන යුරු

සුහුඹුල් අත් පා විහිදුවා
දෙවිඳුන් සමග සිහිනෙන් හිනැහෙන
නොඉඳුල් සිතැති පින්වත් කුමරුනි
නගන්නේ ඒ හඬයි ඔබේ ළ‘මතින්
ලබ් ඩබ් ලබ් ඩබ්

අනාගතය ඔබගේ පුතේ
සවිකර ගැනුමට අද දිනේ
මා පිය අප දෙදෙන ඔබේ
වෙහෙසෙන්නේ අපම‍ණේ 
එවිටද හද නගනුයේ
ලබ් ඩබ් ලබ් ඩබ්

වැඩිහිටි වූදා ඔබ යම් දිනේ
දරුවකු ආ විට ඒ දිනේ
ඔබටත් ඇසේවී මේ ලෙසේ
ලබ් ඩබ් ලබ් ඩබ්

ඉන් මතු දිනයක පුතේ
යහතින් සිටිනු මැන පුතේ
දැක සුරතල් ඔබේ සහ මුනුපුරන්ගේ
නෑසෙනු ඇත නිසල කයෙන් අපේ
ලබ් ඩබ් ලබ් ඩබ්

Saturday, May 9, 2015

බඩදරු වීම

කාලයක් පෙම් බැඳා
පෝරු මස්තකාරූඪ වී
පැතුයෙමි වන්නට
පූර්ණැති පවුලක්

සති ගණන් මාස ගණන් කල් ගත වූයේ
ගත වැගුරූ දාඩිය නැත පළ දුන්නේ
සිත් තුළ යම් කිසි දුක ඇති වූයේ
දොස්තර ළඟ පෝළිමේ සිට ගන්නේ

ඔබලා හට නැත කිසි අඩු පාඩූ
ඇත බොහො කල් තවමත් තරුණයි ලූ
අරගනු මේ බෙහෙත් , තව උත්සහ කරනූ
තුන්දහසයි බිල කැෂියර්ට ගෙවනූ

කෙරුවෙමු ඒ සියලු දේ පේවී
නැති කිසි පළක් ඇත මුදල් දියවී
නෑයන් අසයි “නැත්දැයි තවමත්“ නියැවී
ඇත මාගේ බිරිඳ සැමගෙන් කොන් වී

ඇත වෙද මහතෙක් රජරට කඩ පනහේ
ඔබ වැනි අයට ඔහු යහපත වන්නේ
අද හෙට ගොස් ඔබ ඔහු හමු වන්නේ
ඔබ හට නිසැක දරුඵල හිමි වන්නේ

බොහෝ වෙර දරා අංකය ලැබ ගන්නේ
පූරුවෙ පිනකටද මන්දා වෙදැදුරු හමුවන්නේ
දෙමසක් බෙහෙත් බොන්නට මේ දරුවන්නේ
එන අවුරුද්දේ අැරැගෙනු එනු ඔබේ දරුවන්නේ

ඈ හට ඇතිය දැන් යම් යම් රුදා
ඔක්කාරය ඇති විය ගිය බදාදා
ඉහවහා ගොස් සතුට නැති විය හිස රුදා
වන්නේය ඔබ මවක් , ගතිමි මම ඇය බදා

Thursday, November 7, 2013

ඊ ලෝකය

විඳවන ජීවිතය විඳගන්නට
නිරස ජීවිතය රසවත් කරන්නට
නොදුටු ළහිරු කිරණ දැකගන්නට
හරිනු මැන දෑස් සකි සඳ
ඉරා මාන්නයේ කඩතුරා බිඳ

ඇබ්බැහි වුනු මුහුණු පොතත්
නිතරම කොටන ට්විටරයත්
නැත්නම් ජීවිතයට කවදත්
ඇත සතුට සැමතැන සැමදත්

ඇයි ඔබ මේ ලෙසේ
දුක සේ සිටිනුයේ
පෙම්වතිය මුහුණු පොතේ
පැනගියා යැයි සිතේ


Wednesday, October 2, 2013

සතුට

නිතර තම සතුට හඹා යන මිනිසා,
නිතර තම සතුට යමක් මත ම රඳන නිසා,
සතුට රඳන දෙය ම අනියත නිසා,
නිතරම දුකින් සිටියි මිනිසා


මිල මුදල් හෝ වෙනත් කිසිවක් ,
කරගත හොත් තම සතුටක්,
නැති වුනොතින් එය දිනක කිසියම්,
කොහිද ඇත්තේ තම සතුට එතැකින්

ඇති දෙයින් සතුටුව,
ඉන්ට හැකි නම් අල්පේච්චව,
ඇත සතුට නිතරම ,
කුමට තැවෙමුද නැති දෙයක් ගැන

හැම දෙයටම ලොබ මිනිසා
සදයි කරගන්නට සියලු දේ තමා
නැති දේ ගැනම සිතා
තැවෙයි නිතර සතුට නැත සිතා

තමා තුළ ඇති සතුට
වෙන දෙයක් මත ඇතැයි සිත
වෙහෙසෙයි එය කරගන්නට තම
නොම වෙහෙසෙයි බලන්නට දෙසම තම

මෙලොවට අප බිහිවුනේ
කිසිදෙයක් ගෙන නොවේ
යන විට මෙලොවින් මිනිසුනේ
ගෙන යන්නේ මොනවද මෙලොවේ

මිල මුදල් රන් රිදී මිණි මුතු
ඇති හැකි ඇත්තෝ ළඟ අමුතු
සතුටක් ඇතැයි අප සැම  සිතු
ඇත සතුට සැම විට බයක් මුසු