Wednesday, January 25, 2023

රෑ වෙනවට මං බයයි

 උදේ ඉඳලා අම්මගේ උණුහුමේ ඉඳන් තනේ එල්ලිලා කිරි බීපු මට,

කලුවර වෙලා, කිරිත් නෑ අම්මගෙ මූණ පේන්නෙත් නෑ, කෑ ගහල ඇඬුව මම

ඉතින් රෑ වෙනවට මං බයයි.


අද නම් කෑවෙත් නෑ බත් හරියට, අම්මා ඇඬුවා මම කෙට්ටුයි ලු 

හබුං කටයි බත් දෙකටයි, නොකෑවොත් බිල්ලන් එයි කියා අම්ම කිව්වා

ඉතින් රෑ වෙනවට මං බයයි 


අප්පච්චි මළේ හේනේ ඉඳල එනකොට අලිය ගහලා 

මම පොඩි හින්ද ගෙනාවලු අලුත් අප්පච්චි යෙක් , බාප්පා....

අම්මා නැති වෙලාවට මට කරනවා කරදර, කිව්වොත් අම්මට මරනවලු මාව 

ඉතිං රෑ වෙනවට මං බයයි


පාන්දරින් නැගිටලා උයල පිහල ළමයි ලැයිමෙ සුරැකුමට දාලා 

කූඩෙත් අරන් යන්නේ වත්තේ දලු කඩන්න, සින්න දොරේගෙ වදේ ගේ පැත්තේ ඇවිත් යන්න කියල 

දලු කඩල ළමයි අරන් ගෙදර ඇවිත් රෑට උයන කොට, රස්තියාදුකාර මිනිහා එනවා වැනි වැනි 

"අදත් මේවද කන්න තියෙන්නේ " තලනවා මට වෙරි මර ගාතෙන් 

ඉතිං රෑ වෙනවට මං බයයි 


මහත්තයා උදේට ටයි කෝට් ඇඳගෙන තට්ටු තුනේ ගෙදරින් එළියට යන්නේ මොන්ටෙරෝ එකෙන්

 බ්‍රිටිෂ් කොලේජ් එකෙන් ළමයි ගන්න යවන්නේ අවූඩිය රියැදුරු එක්ක 

රතු පාටට තිබුනා තොල් සායම් හාදුවක් කමිස කොලරයේ, විස්වාසයි මට ඒ මගේ නම් නොවේ

තිබුනා  කවරයක් කලිසම් සාක්කුවේ , කොන්ඩම්, මා වෙනුවෙන් නොවේ 

ගෙදර ආ විට ඔහු සයනයේ හැසිරුනේ මෘගයෙකු වගේ 

ඉතිං රෑ වෙනවට මං බයයි


ජීවිතෙන් දශක හයක් ගෑවුණා, රැකියාවෙන් ඉහළම තැනට ගියා 

සල්ලිත් යහමින් ලැබුවා, ඉඳහිට මිනිහ එක්ක  අඩියකුත් ගැසුවා 

ළමයි ඔක්කොම දීග දුන්නා, උන් ඔක්කොම රට ගියා

මේ සතියට දෙපාරක්ම පපුව රිදුම් කෑවා, වැල් තුනක් බ්ලොක් ලු දොස්තර කිව්වා

ඉතිං රෑ වෙනවට මං බයයි...........










 











2 comments:

  1. සෑහෙන කාලෙකින්...💐ආයෙත් ලියන්න පටන් ගත්තු එකට ගොඩක් සතුටුයි..
    ගොඩක් ලස්සන සිතුවිලි පෙළක්.. ඒත් දුකයි..ඒ වුනත් යථාර්ථයත් ඒකම තමයි..

    ReplyDelete
  2. ලස්සනයි…… එකතු කරලා කවි පොතක් කරමු.

    ReplyDelete